
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ
වැවට කලුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළු මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පාවුණා
සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා
පද රචනය : රත්න ශ්රී විජේසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව
ඈ සියුමැලි ය. ඈ පියකරු ය. ඈ සුකුමාල ය. ගමේ දුප්පත් පවුලක ඉපදී හැදී වැඩුන මේ පුංචි සුදු නෙළුම පවුලේ අගහිගකම් ඉවසනු නොහැකි වූ නිසාත් ඉගනීමට තිබූ දැඩි ආශාව නිසාත් පන්සලට එන බැතිමතුන්ට සොරබොර වැවේ මල් නෙළා විකිණීම තම ජීවිකාව කර ගත්තේ ඇයගේ අසරණ කම නිසා කිව්වොත් මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා.
පෙර සේම පාළොස්වක පොහොය දිනයේත් තම සුපුරුදු කාර්යයේ නිරත වූ පුංචි දැරියට එදින කිසිදු අමුත්තක් නොදැනුනා යැයි ද කිව නොහැකි ය. එදිනද පෙර සේ ම ඇගෙන් මල් ගන්නට බැතිමතුන් එති. ඒත් ඇය අද වෙනදා මෙන් මල් විකුණන්නේ නැත. ඇයට කුමක් වී ද? වෙනදා මෙන් එදත් ඉර පායා ටිකෙන් ටික වැවට කළුවර ද යා විය. ඒත් මේ පුංචි මල් කැකුළ අද වෙනදා මෙන් දකින්නට වත් නැත.
එදා සොරබොර වැවේ මල් සුවද දුන් ඒ සුදු නෙළුම නෙළූ මල් මිට නම් වැවට කළුවර යා වීමත් සමග එහා ඉවුරට පාවී තිබෙණු දැකගත හැකි විය. ඒත් ඒ සුදු නෙළුම.........?
අනේ ඒ සුදු නෙළුම් මලත් දෑස පියවී මෙහා ඉවුරට පා වෙයි කියලා කව්රුත් හිතුවේ නැතුව ඇති. ඇය තමන්ට ජීවිතය දුන් ඒ වැවටම ඇයගේ ජීවිතය පූජා කලා. ඒ දුකට අහසත් කදුළු සැලුවේ සිහින් සිරිපොද වැස්සකින් . ඒ කදුළු වැස්සෙන් ඉවුර නැමති දෙකොපුල් ද තෙත් වූයේ ඇයගේ වියෝව දරාගත නොහැකිව යි. සුකුමාල වූ ඈ ආයේ කෙදිනකවත් මල් නෙළන්නට මේ වැවට එන්නේ නැති වෙයි . ඒ පුංචි කුසුම තම ජීවිතයෙන් මෙසේ වන්දි ගෙවන්නේ දුප්පත්ව ඉපදුනු නිසා නොවේ ද? වෙනදාට වැවට කළුවර යා වෙන්නේ රාත්රිය එළඹුණා ම . ඒත් , ඒ සුදු නෙළුම මිලින වූ දා සිට දහවලටත් වැවට කළුවර යා වෙන බව නම් සැබෑවකි. ඇයට තම දිවි රැක ගැනීමට අත්වැලක් වූ වැවම ඇය බිල්ලට ගත් බව කෙසේ නම් ඉවසන්න ද?
රත්න ශ්රී විජේසිංහයන් දෙමටමල් විහාරය අසල පාසලේ ගුරු වෘත්තියේ නියැලෙන කාලයේ තම පාසලේ සිසු දියණියක මුහුණ දුන් මේ ඉරණම අත්දැකීමකොට ගෙන මෙම ගීතය රචනා කර ඇත. වැවේ ගිලී මිය ගිය මේ පුංචි මල් කැකුළට අපිත් නිවන් සුව ප්රාර්ථනා කරන්නේ ඉත සිතින්ම යි.
සදීපා එරංගි කුමානායක.
13-A
කලා
2 comments:
අපේ නෙත නොගැටෙන මෙවන් කව් සිතුවිලි පමණක්ම නොව, අප ජීවත් වන සමාජයේම මහමෙරක් දුක් කන්දරා ලෝකයාගෙන් සගවාගෙන හිනාහෙන්නට වෙර දරණ බොහොමයක් සහෘද පාඨකයින්ටත්.... සමාජය ගැන හිතන්නට.... දයාන්විත බවක් හිත් ඇතුලෙන් අවදි කරන්නට .... මෙය අපුරු සිහි ගැන්වීමක් යන්නයි අපේ හැගීම.
අලංකාර ගීතයක්. අප ජීවත් වන නගරබද සමාජයට විෂය නොවන දේවල් ගැන කත කිරීමට රත්න ශ්රී ට ඇත්තේ පුදුම දක්ෂතාවයක්. ඔබ වැනි නව පරපුරේ කෙනෙකු අමරදේවයන්ගේ ගීත අගය කරණු දැකීමත් සතුටුයි. මම හිතන් හිටියේ අපේ පරම්පරාව (70 වේ දරුවන්) සමගම ඒ දේ මිය ගිය බවයි. (මම හිතන තරම් නාකි නැහැ ඒවුනාට!)
Post a Comment