කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/14/09

එදා මෙදා තුර.....

එදා මෙදා තුර කදුළට විවරවු
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරෑ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැද අවසන් ගමනට
සොදුරිය මට නොකියාම ගියා


දෑස් කව්ළුපත් පලා කදුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කව්රුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කව්රුත්
ඔබෙ මුව දොවතත් සුවද පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවදයි
ඈත් නොවේමැයි ඒ සුවදින්

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් අද සොදුරිය ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක සිත් ඇත්තන් වී
අප ඉපදෙමු එකට ප්‍රියේ


තම පෙම්වතියගේ අකල් වියෝවෙන් සිත් තැවුලට පත් මේ පෙම්වතා ඔහුගේ සිතැගි පලකර තිබෙන්නේ කෙතරම් සංවේදීවද කියා මෙම ගීතය වරක් හෝ ශ්‍රවණය කල සහෘදයෙකුට නම් එය මනාව වැටහෙනු නොඅනුමානය.

මට වැටහෙන අයුරින් නම් මෙම පෙම්වතිය සියදිවිහානි කරගෙන තිබේ . පෙම්වතාට එදා තම පෙම්වතිය හා ගත කල ඒ සොදුරු සමය ස්මරණය වන සෑම මොහොතකම ඔහුගේ දෙනෙත් අගින් රෑරා වැටෙන කදුළු බිදුවලින් සංකේතවත් කරන්නේ ඔහු තම පෙම්වතියට දැඩිව ඇලුම් කර ඇති බවයි. ඇයගේ වෙන්වීම ඔහුට දැඩි ශෝකය දනවන්නක් විය. ඔහු තම හැගීම් ආයාසයෙන් පාලනය කරගන්නා බව මැනවින් පැහැදිලි වන්නේ

" කාත් කව්රුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්..."

යන ගී පදයෙනි ඒ සුවදෙන් ඈත් වන්නට ඔහුට නොහැකිව ඔහු නතිව වැළපේ. එදා ඇයත් සමග තැනූ ඒ ආදර ලෝකය හෙටත් තියෙනවා. සත්තයි....ඒත් සොදුරිය ඒ ‍ලෝකයේ දැන් සිටින්නේ මා පමණයි. මේ ලෝකයේ දැන් මට මොන සතුටක්ද ? මෙසේ සිතන මේ පෙම්වතාගේ ප්‍රාර්ථනය නම් කෙතරම් පූජනීයද?

" ආයේ දවසක එක සිත් ඇත්තන් වී අප ඉපදෙමු එකට ප්‍රියේ...."

"යලි කෙදිනක හෝ ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප එක සිත් ඇතිව එකටම ඉපදේවා! " මෙය පෙම්වතාගේ එකම ප්‍රාර්ථනය යි.

සදීපා‍ එරංගි කුමානායක.
13-A.
කලා.

3 comments:

Travel Ceylon said...

මාත් ඉතාම කැමති සිංදුවක්. මගෙ බ්ලොග් නම විදියට දැම්මෙත් ඔය සිංදුවට ඒ තරම්ම ආස නිසා.

සිංහල ගී පද මාලා said...

ඉතා සංවේදී ගීතයක්.

ගායනය හා සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගෙන්.

මම දන්නා තරමට මේ ගීතය රචනා කළ විමල් ජයශාන්ත මහතා ලියූ එකම ගීතය. මෙම සිදුවීම ඔහුගේම අත්දැකිමක් බවද වරක් ගුවන් විදුලියෙන් ඇසුවා මතකයි.

ඩෝසන් said...

පාසලකින් බ්ලොග් අවකාෂයට එකතු වන ඔබ සියල්ලන්ට ජය පතමි.

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.