කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/19/09

කලාවට බරද.....

මුලින්ම කියන්න ඕන මේ සටහන නම් ටිකක් දිගයි. කම්මැලි වෙන්න එපා. එක හුස්මට කියවගෙන කියවගෙන යන්න. සාහිත්‍යයට ලෙන්ගතු අපේ සහෘදයන්ට මේක ඉතා වැදගත්. ඉතාම වැදගත්. අමතක කරන්න එපා මේක සංවාදයටත් විවෘතයි.

කලාව මිනිසුන් අතර අදහස් පළ කරන්න, මතවාද ගෙනියන්න තියෙන ඉතාමත් ප්‍රබල, සියුම් සහ සුන්දරම මාධ්‍යය. වෙන කිසිඳු සන්නිවේදන මාධ්‍යයක් සතුව නැති හැකියාවක් කලාව සතුව තියෙනව. ලෝකයේ ජීවත් වන හැම මිනිහෙක්ම මවගේ තුරුල්ලේ නැලවිලි ගීයක් අසමින් නැලවෙන කිරි දරුවාගේ පටන් මහල්ලා දක්වා කලාවෙ කුමන හෝ අංශයකට කැමතියි. චිත්‍ර , නාට්‍ය , සිනමාව, කවිය, ගීතය, නැත්නම් මින් එකකට සංවේදී කමක් දක්වනවා. (හදිස්සියෙ එහෙම නෑ වගේ ඔබට දැනෙනවනම් මානසික ප්‍රතිකාරයක් කර ගන්නත් අමතක කරන්න එපා. පුංචි විහිළුවක් කළේ බ්ලොග් කියවන අපේ සහෘද ඔබ කොහොමත් කලාවට බරයි.)

ලෝකෙ වැඩිම මත ප්‍රමාණයක් තියෙන තැන කලාව. අපට වගේම ඔබටත් මතයක් ඇති කලාව ගැන. පංචේන්ද්‍රියන් මගින් සොබා දහ‍‍මෙ දේවල් මිනිස් මනසේ පරාවර්තනය වෙනවා. ඒව සෞන්දර්යාත්මකව පරාවර්තනය වෙනව නම් ඒක තමයි කලාවෙ උපත. මිනිස් මනස හා සොබා දහම ඒකාත්මික වීමෙන් තමයි කලාව පවතින්නේ සහ ඉදිරියට ගමන් කරන්නෙ. සොබා දහමෙන් තොර කලාවකුත් නැහැ.මිනිසාගෙන් තොර කලාවකුත් නැහැ. සැඳෑ අහසේ පියාසර කරන පක‍්ෂියා එහි සුන්දරත්වය දකින්නෙ නැහැ.රැළි නංවා ගලා බසින ග‍‍‍‍‍‍ඟේ සුන්දත්වය මාලූව දකින්නෙ නැහැ. ඒ සුන්දරත්වය දකින්න පුලූවන් මිනිසාට විතරයි. ~~
සුන්දරත්වය තියෙන්නෙ බලනු ලබන වස්තුවේ නොව බලන්නාගේ දෑස් තුළයි~~ කියන්නෙ ඒ නිසා.

කලාව බිහිවුනේ මිනිස් මනසෙ. කලාව මිනිස් නිර්මාණයක්.සමහරු අදත් හිතන්නේ කලාව මැව්වේ දෙවියො කියලා. දෙවියන් විසින් මිනිසා මැවිවෙත් නැහැ. ලෝකෙ මැවිවෙත් නැහැ. කලාව මැව්වෙත් නැහැ. සිදුවුනේ මිනිසා විසින් දෙවියන් මැව්ව එකයි. සරස්වතී මැව්වෙත් කලාව විසින්මයි. කලාවෙ අයිතිකාරයො මිනිස්සු. ගීතය,කවිය,සිතුවම, මේ සියල්ල මිනිසාගේ නිර්මාණ. කවියක් ,ගීතයක්, සිතුවමක්, පින්සලක්, දළ සේයා පටයක්, ඛෙරයක හමක් කලාවට අධිපති සරස්වතී විසින් මවල නැහැනේ.

එසේ නම් කලාව කවුරුන් සඳහාද?. ඔබ එකඟ වේවි. කලාව මිනිසා සඳහාමයි.
අපි ජීවත් වෙන සමාජය අර්බුද වලින් පිරිල. මානව වර්ගයාට සතුටින් ජීවත් වෙන්නට නොහැකි යුද්ධ, ගැටළු, ගැටුම්, විලාප තමයි දකින්නෙ. ජීවිතය වෙනුවට මරණය,අනාගතය පිළිබඳ බලාපොරොත්තු නැති, මානව බැඳීම් සුන්වූ සමාජයක් වෙනුවට හුදු වාණිජ බැඳීම් වලින් පිරුණු සමාජය වෙනස් කරන්න කලාවටත් ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒක කරන්න ඕන කලාකරුවා.

කලාකරුවා මානව හිතවාදියෙක් විය යුතුයි. මිනිසාගේ හද ගැහෙන රිද්මය හඳුනා ගන්නනම් ඔහු ජනතාව සමග සිටිය යුතුයි. අද කලාකරුවට මොකද වෙලා තියෙන්නෙ..............??? කියන ප්‍රශ්නය අපි හැම දෙනා ළඟම තියෙනවා.

කාසි වලට පමණක් වටිනාකම් දෙන මේ ආර්ථීක ක්‍රමය ආවට පස්සෙ වෛද්‍යවරයා, ගුරුවරයා, කවියා, කලාකරුවා වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත් කළා. තමන්ගේ ප්‍රාග්ධනයෙන් හැම දෙනාම සල්ලිවලට ගත්තා. ඒ නිසා නිදහසේ ගලා ගිය සමාජයේ සකලවිධ අංගයන් මුදලට කොටු උනා. ඒ නිසා සියලූ දේම අර්බුදයට පත්වෙනවා.

සමස්ත අර්බුදයෙන් මිදෙන්න වියෝවෙලා ඉන්න කලාවට බැහැ. කලාකරුවා මේයට ගොදුරු වෙන විට කලාවටත් ඒ ඉරණම අත් වෙනවා. ~~
ශක්තිමක් ආර්ථීකයක් මත තමයි වටිනා නිර්මාණ එළි දකින්නේ..~~ ඒක විශ්ව සත්‍යයක්. අනුරාධපුර, පොළොන්නරු රාජ සමය නිහඬව අපට කියන්නෙ ඒක.

අද කලා කෘති, කලාකරුවන් ප්‍රාග්ධනයේ ගොදුරු බවට පත්වෙලා. ඇතැම් කලාකරුවන් ළඟ හොඳ නිර්මාණ තියෙනව. ඒත් ප්‍රාග්ධනය. නැතිකමින් ඒවා සමාජගත කරන්න බැහැ. මේකට සමාජයේ තියෙන පොදු අදහස තමයි ~~අත දෙන්න කවුරුත් නෑ~~ කියන එක. අත දෙන්න කවුරුත් නෑ නෙවෙයි ප්‍රාග්ධනය නැති කමයි ප්‍රශ්නෙ. නිර්මාණ වෙනුවට නිෂ්පාදන හදන්න වෙලා තියෙන්නෙ ඒ නිසානෙ. මේ අතර ප්‍රාග්ධනයට යට නොවුණු උඩුගම් බලා පීනන කලාකරුවොත් ඉන්නවා. ඔවුන්ට අපේ ආචාරය පුදන්නත් අපි අමතක කරන්නෙ නැහැ.

කලාකරුවා, කලාකෘති මානව සමාජයේ යථාර්තය නියෝජනය කරන්න ඕන. එක දිගට කියෙව්වම අමාරුයි නේද .
අහන්නකො මේ සිංදුව
හරිම සංවේදී ගීතයක්. පස්සෙ නැවත අහන්නකො.ගීතය ලස්සන වුනාට අපට එකඟ වෙන්න බැරි පුංචි ගැටළුවක් තියෙනවා.
අපේ අම්මලා, අක්කලා ඇඟලූම් කම්හලේ නිදිවරා ගෙන දුක් විඳින්නේ ~~පෙර කළ පවට~~ කියල ගීතයෙන් පැවසුවත් ඒක යථාර්තය නෙවෙයි. 1948 ලැබුණා යැයි පවසන,සමරන නිදහසින් පසුවත් ජාතික ආර්ථීකයක් නිර්මාණය නොකිරීමේ වරද මිසක පෙර කළ පව නොවේ.

කලාකරුවා සමාජ සිද්ධීන් වලින් කම්පනයට පත්විය යුතුයි. අනුභූතියේ මතුපිටින් නෙවෙයි හරය දකින්න ඕන. හැමෝටම කලාකරුවො වෙන්න බෑ. අපූර්ව දේ යථාර්තවාදීව නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ප්‍රතිභාව කියන්නෙත් ඒකටනේ. අපේ සමාජයේ බොහෝ කලාකරුවන්ට ප්‍රතිභාව තියෙනවා සමාජ සිද්ධිවලින් කම්පනයට පත්වෙනවා. හැබැයි දැක්මක් නැහැ. මේ මොහොතේ සමාජයට අවශ්‍ය වන්නේ නිවැරිදි දැක්මක් සහිත සුභවාදී සහ මානව වාදී පදනමක පිහිටා කටයුතු කරන කලාකාරයො.
ජපානයේ හිටියා බැෂෝ කියල ~~හයිකු~~ කවියෙක්. දවසක් ඔහුගේ ගෝලයෙක් මෙහෙම කවියක් ලිව්වා.

~~ගන්න බත් කූරෙකුගෙන්
පියාපත් යුවල
මෙන්න ඉදුණු ගම්ම්රිස් ඇටයක් ~~

මතුපිටින් බැලූවම සරල රසවත් කවියක්. හැබැයි බැෂෝ හොඳටම තරහෙන් ගෝලයට මෙහෙම කිව්වා.

~~උඹට කවියෙක් වෙන්න බෑ........... උඹ සොබා දහම විනාශ කරනව. කලාකරුවා සොබා දහම නිර්මාණය කරන්න ඕන.කවියෙකුට සොබා දහම විනාශ කරන්න බැහැ.~~ ඉන් පස්සෙ බැෂෝ ඒ සංකල්පය මෙහෙම ලිව්වා.

~~රතු ගම්මිරිස් ඇටයකට
දෙන්න පියාපත් යුවලක්
මෙන්න බත් කූරෙක්~~

කලාකරුවාගේ අධ්‍යාත්මය, නිර්මාණශීලිත්වය, දැක්ම, යොමුවිය යුත්තේ සොබා දහමට අලූත් එකතු කරන, මානව බැඳීම් ඇති කරන, දිශාවට. මිනිස් හදවතේ තෙතමනයක් ඇති කරන දිශාවට. එවිට ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළවර වන කලාවක් උපදිනවා.අනාගත ලෝකය අපේය. හෙට දින යහපත වෙනුවෙන් නව දැනුමෙන් නව දැක්මෙන් මානුෂික මෙහෙයුමට පෙළ ගැසෙමු.

- ථෙරපුත්තෙ අපි-



1 comment:

Anonymous said...

ඔය විදියට ගියොත්නම් ගොඩම තමයි.
ථෙරපුත්තේ ඉන්නේ හරි මොලකාරයොනේ නේද?
ඔයාලගේ අදහස නම් ගොඩක් වටිනවා හරිම කාලීනයි. සංවාද ඕනෙ නෑ අපිත් එකගයි.

මේ,
ජාඩියයි මූඩියයි.

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.