කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/17/09

අත්‍යවශ්‍ය පූර්විකාවක්




ජාතියක අනන්‍යතාව පිළිබිඹු කරන කැඩපත තමයි ඒ ජාතිය භාවිතා කරන භාෂාව. භාෂාව පුළුල් වන තරමට ම එම ජාතිය නියෝජනය කරන ශිෂ්ටාචාරයත් වර්ධනය වෙනව. ඒ අනුව සාහිත්‍යය, කලා ශිල්ප, තාක‍්ෂණය ආදී සෑම අංශයක ම දියුණුව කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයත් භාෂාව. ඕනෑම සමාජයක පුද්ගලයා දැනුම ලබන්නේ, දැනුම ප්‍රකාශ කරන්නේ, සහ නිර්මාණාත්මක චින්තනයක් ගොඩ නගා ගන්නෙ භාෂාව ආශ්‍රයෙන්.
භාෂාව පිළිබඳ දැනුම දුබල වීමෙන් ජාතියක් සතු සියලූ හැකියාවන් දුබල වෙනව.
ජාතියේ වටිනාකම ප්‍රකට කරන්නට භාෂාව මොන තරම් සමත් වෙනවද කියල තේරුම් ගන්න 1835 දි මැකොලේ සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙදි කරපු මේ ප්‍රකාශය වැදගත් වේවි..............

~~
මම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරා ඇත්තෙමි. එක ද සිඟන්නකු හෝ එක ද සොරකු හෝ මා එහි දැක නැත. එවැනි සම්පත්, එවන් උසස් සදාචාරාත්මක වටිනාකම් හා එවන් උසස් ගණයේ මිනිසුන් මම ඒ රටේ දැක ඇත්තෙමි. ඒ රටේ ආධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් නම් වූ එහි කොඳු නාරටිය නො බිඳ අපට කිසිදාක ඒ රට යටත් කරගත නොහැකිය. එහෙයින් ඒ රටේ පැරණි හා චිරාගත අධ්‍යාපන ක්‍රමය, එහි සංස්කෘතිය වෙනස් කළ යුතු යැයි මම යෝජනා කරමි. මන්ද ඉන්දියානුවෝ විදේශීය වූත්, ඉංග්‍රීසිවූත් සියල්ල තමන්ගේ දේවල් වලට වඩා උසස් යැයි සිතත් නම්, ඔවුන්ගේ ආත්මාභිමානයත්, ඔවුන් ගේ දේශීය සංස්කෘතියත් ඔවුනට අහිමි වී යනු ඇත. එවිට ඔවුහු අපට අවශ්‍ය පරිදි, සැබැවින්ම පරාධීන වූ ජාතියක් බවට පත් වන්නේය.~~

මේ ප්‍රකාශය කරල තියෙන්නෙ ඉන්දියාව ගැන. ඒත්..........මේක අපේ රටටත් අදාළයි. ඒකට ඔබත් එකඟ වේවි. ස්වකීය ආක්‍රමණශීලී බලය දිගුකාලීනව ව්‍යාප්ත කිරීමට ඔවුන් කළේ

තමන්ගේ සුවිශේෂ අනන්‍යතාව නොදන්නා,
ජාතික වටිනාකම් වලින් ඉවත්වූ,
තම සංස්කෘතික මූලයන් උදුරා දැමුණු, අක් මුල් රහිත සමාජයක් බිහි කිරීමයි.

අනුකාරකවාදී පරගැති දීන මනසකින් යුත් ප්‍රජාවක් බිහි කර ගත් විට ඕනෑම විපත්තිදායක මෙහෙයුමක් ඒ බිමේ දියත් කරන්නට හැකි බව ඔවුන් දන්නව.

එය සිදු කරන්නට බ්‍රිතාන්‍යයන් වැඩි පියවර ගත්තෙ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒක කළේ කොහොමද කියල මෙහෙම පෙළගස්වන්න පුළුවන්.

1 - අධ්‍යපනය තුළ මවු භාෂාවට ඇති වැදගත්කම බිඳ දැමීම.
2 - ස්වකීය ජාතියේ ඉතිහාසය නොදත් දරු පරපුරක් බිහි කිරීම.
3 - සාහිත්‍ය පරිශීලනයෙන් ඈත් වූ, රසාස්වාදනයෙන් හීන වූ,
දරු පරපුරක් නිර්මාණය කිරීම.

1948 පෙබරවාරි 4 අපට නිදහස ලැබුණ කිව්වට තවමත් අපි ස්වාධීන නැහැ. අපව දිගු කාලීනව ඔවුන්ගේ උවමනාවන්ට අනුගත කරන්නට සමත් වෙලා කියල අපට හිතෙන්නේ. අනගාරික ධර්මපාල තුමා කිව්වෙ ~කළු සුද්දන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා....` කියල ඔය දේම තමයි. අපි තවම රටක් ලෙස ස්වාධීන දැක්මකින් යුතු ගමනක් නෙවෙයි යන්නෙ. ඒ නිසාමයි මේ සටහන පූර්විකාවට ඇතුළත් කළේ. අපේ ඉස්කෝලේ 7 වසරෙ නංගියෙක්ගේ නිර්මාණ එකතුවක මෙහෙම සටහනක් තිබුණ.

~~තාත්තා ගෙනත් දුන් පැන්සලෙන්
තාත්තම දුන්න කොපි පොතේ
~~අම්මා~~ කියල මුලින්ම ලිව්වේ
තාත්තට ආදරේ නැතිව නොවේ.~~

අපේ අම්මා තරමටම ~~අ~~ යන්නෙන් පටන් ගන්න ~අපේ බසට~ ආදරය කරන්නට අතපොත් තබන වෙලාවෙම අපේ සංස්කෘතිය අපට හුරු කරන්නෙ ඇයි කියල ඉවෙන් වගේ ඒ නංගිටත් දැනිල කියලයි අපට හිතෙන්නෙ. භාෂාව කියන්නෙ ජාතියක අනන්‍යතාව පිළිබඳ නිවහල් හඬ. මව්බසට වඩා ඉංගිරිසිය උසස් යැයි සිතන ජාතියේ අමාවක රාත්‍රීයට පුරපස සඳක්් වන්නට මෙය මඳකුදු රුකුලක් වේ නම් එය අපේ පැතුමයි.`..............

ථෙරපුත්තේ අපි

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.