කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

9/2/09

මිලින වූ සුදු නෙළුම


සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

වැවට කලුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළු මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පාවුණා

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා


පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව


ඈ සියුමැලි ය. ඈ පියකරු ය. ඈ සුකුමාල ය. ගමේ දුප්පත් පවුලක ඉපදී හැදී වැඩුන මේ පුංචි සුදු නෙළුම පවුලේ අගහිගකම් ඉවසනු නොහැකි වූ නිසාත් ඉගනීමට තිබූ දැඩි ආශාව නිසාත් පන්සලට එන බැතිමතුන්ට සොරබොර වැවේ මල් නෙළා විකිණීම තම ජීවිකාව කර ගත්තේ ඇයගේ අසරණ කම නිසා කිව්වොත් මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා.

පෙර සේම පාළොස්වක පොහොය දිනයේත් තම සුපුරුදු කාර්‍යයේ නිරත වූ පුංචි දැරියට එදින කිසිදු අමුත්තක් නොදැනුනා යැයි ද කිව නොහැකි ය. එදිනද පෙර සේ ම ඇගෙන් මල් ගන්නට බැතිමතුන් එති. ඒත් ඇය අද වෙනදා මෙන් මල් විකුණන්නේ නැත. ඇයට කුමක් වී ද? වෙනදා මෙන් එදත් ඉර පායා ටිකෙන් ටික වැවට කළුවර ද යා විය. ඒත් මේ පුංචි මල් කැකුළ අද වෙනදා මෙන් දකින්නට වත් නැත.

එදා සොරබොර වැවේ මල් සුවද දුන් ඒ සුදු නෙළුම නෙළූ මල් මිට නම් වැවට කළුවර යා වීමත් සමග එහා ඉවුරට පාවී තිබෙණු දැකගත හැකි විය. ඒත් ඒ සුදු නෙළුම.........?

අනේ ඒ සුදු නෙළුම් මලත් දෑස පියවී මෙහා ඉවුරට පා වෙයි කියලා කව්රුත් හිතුවේ නැතුව ඇති. ඇය තමන්ට ජීවිතය දුන් ඒ වැවටම ඇයගේ ජීවිතය පූජා කලා. ඒ දුකට අහසත් කදුළු සැලුවේ සිහින් සිරිපොද වැස්සකින් . ඒ කදුළු වැස්සෙන් ඉවුර නැමති දෙකොපුල් ද තෙත් වූයේ ඇයගේ වියෝව දරාගත නොහැකිව යි. සුකුමාල වූ ඈ ආයේ කෙදිනකවත් මල් නෙළන්නට මේ වැවට එන්නේ නැති වෙයි . ඒ පුංචි කුසුම තම ජීවිතයෙන් මෙසේ වන්දි ගෙවන්නේ දුප්පත්ව ඉපදුනු නිසා නොවේ ද? වෙනදාට වැවට කළුවර යා වෙන්නේ රාත්‍රිය එළඹුණා ම . ඒත් , ඒ සුදු නෙළුම මිලින වූ දා සිට දහවලටත් වැවට කළුවර යා වෙන බව නම් සැබෑවකි. ඇයට තම දිවි රැක ගැනීමට අත්වැලක් වූ වැවම ඇය බිල්ලට ගත් බව කෙසේ නම් ඉවසන්න ද?

රත්න ශ්‍රී විජේසිංහයන් දෙමටමල් විහාරය අසල පාසලේ ගුරු වෘත්තියේ නියැලෙන කාලයේ තම පාසලේ සිසු දියණියක මුහුණ දුන් මේ ඉරණම අත්දැකීමකොට ගෙන මෙම ගීතය රචනා කර ඇත. වැවේ ගිලී මිය ගිය මේ පුංචි මල් කැකුළට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කර‍න්නේ ඉත සිතින්ම යි.

සදීපා එරංගි කුමානායක.
13-A
කලා

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.